Wednesday, January 16, 2013

ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා (විශේෂ ස්තුතිය නලීන් අයියාට)



හිතවත් බ්ලොග්කරුවකු වන නලීන් දිල්රුක්ෂ සහෝදරයා විසින් මාතලන් ගේ බ්ලොග් අඩවියේදී පළ කරන ලද අදහසක් දුටු විට මා හට මගේ කුඩා අවදියේ සිදුවීමක් මතක් වුණි. එය එම බ්ලොග් අඩවියේ අදහසක් ලෙස ඉදිරිපත් කිරීමට සිත් වුවද, අවසානයේ නතර වුයේ මෙහි ලිපියක් ලෙසිනි.

ප.ලි. කිහිප දෙනෙක් මෙය තේරුම් ගැනීමේදී දුෂ්කාරතාවට පත් වූ බව හැගී ගිය නිසා, තේරුම් ගැනීමේ පහසුව සදහා මෙම පෝස්ටුව කියවීමට ප්‍රථම මාතලන්ගේ පෝස්ටුව සහ කමෙන්ට් තීරුව කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.


......................................................................................................

මම පොඩි කාලේ, අපේ නංගී තාත්තගෙ පර්ස් එකෙන් නංගිගේ කැටේට දාන්න සත පනහක් උස්සන්න සපෝට් ඉල්ලනවා, මම බොක්කෙන් සප් එක දෙනවා. මොකෝ මම අම්මගෙනුයි තාත්තගෙනුයි සල්ලි මාටියා ගහන කොට මට සප් එක දෙන්නේ නංගි බබානේ. දවසක් මම දැක්ක තාත්තගේ පර්ස් එකේ කොළ පාට සල්ලි කොලයක් තියනවා, ලස්සන මොණරෙකුත් කොලේ ඇදල තිබ්බා. මම ඒක ඉස්සුවා. 

නංගි කිව්ව 'අනේ අයියේ ඕක ගන්න එපා, ඔය ලොකු සල්ලි කොලයක්' 

මම එයාව සත පහකට මායිම් කලේ නෑ. මම ඉස්සුවා, දිගටම ඒ වගේ කොළ ඉස්සුවා.

'ආයෙ එහෙම ඔහොම හොරකම් කලොත් මම අම්මට කියනවා' නංගි මට තර්ජනය කලා.

දෙන්නම් වැඩක් කියල මම වැඩේට බැස්සා. දිගටම මොණර කොළ ඉස්සුවා. ඒ එක්කම නංගි සත පනහ උස්සපු එක තාත්තට කිව්වා. ඒත් නංගි මම මොණර කොල උස්සපු එක තාත්තටවත් අම්මටවත් කිව්වේ නෑ. දැන් මට තවත් බයයි.

මම මෙච්චර දෙයක් කරලත් ඇයි එයා මාව අහු කරල දුන්නේ නැත්තේ කියල. නයාට බයට අපි නයාට ගහනවා වගේ මමත් නියම වැඩක් කලා, බය වැඩි කමට.

'මේ හොර නංගිව ගෙදරින් එළවමු' මම අම්මටයි තාත්තටයි කිව්වා. ඒත් මගේ හොරකම් ගැන තාත්තා දැනගෙන හිටිය බව, මම දැන ගත්තේ මේ වෙලාවෙදි.

'මේ උඹ මගෙන් මුකුත් අහගන්න එපා, උඹේ හොරකම් මම නොදන්නවා නෙමේ, එදා ගෙදරට හොරු පැන්න වෙලේ උඹ බය නැතිව පොලිසියට කියල අපිව බේරගත්ත නිසා මම ඉවසනවා, නැතිනම් දනී මං කරන වැඩේ' තාත්තා ගෝරනාඩු කලා.

තාත්තගේ සද්දේ නිසා මගේ සායම දිය වෙලා ගියා, අහල පහල හැමෝම මගේ කාඩ් එක දැන ගත්තා. අර එහා ගමේ ඉන්න 'එලිසබෙත් ආච්චි' විතරක් නෙමේ, ගගෙන් එහා පැත්තේ ගමක ඉන්න, 'ස්ටීවන්' බාප්පත් මේ ගැන ආරංචි වෙලා මට දෝෂාරෝපනය කලා.

මේක දැන ගත්ත අම්ම කිව්වේ මෙහෙම 'තෝ දැන ගනිං පුතේ, උඹල ඔය හොරකම් කරන්නේ, තාත්තයි අම්මයි බඩේ ගින්දරේ නොකා නොබී, දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි, ඔය අමාරු සල්ලි බයිසිකල් රේස් පදින්නයි තොගේ යාළු හැත්ත බුරුත්ත එක්ක ජෝගි නටන්නයි ගත්තට තොට හෙන වදියි' කියල.

ලැජ්ජාවෙන් බේරෙන්න මම නියම වැඩක් කලා, මම ගම පුරා ගැහුවා 'මඩ පත්තරයක්'. මට මේකට සප් එක දුන්නේ 'වැව ගාව ගෙදර' ඉන්න නදීයා.

මඩ පෝස්ටරේ මෙහෙම තිබ්බා....

'ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා, මට විතලක් බයින එක නාකයි, නංගිටත් බනින්න'.

ඉස්ස ඉස්සෙල්ලම මේක ගැහුවේ හොරකම ආරන්චි වෙලා මට කොචොක් දාන 'මාතලගේ' ගේ ඉස්සරහ.

මොනව වුනත් මම පව්. නොදන්න කමටනේ හොරකං කලේ. නංගි වගේ ඈ..

තාම මම ගෙදර ඉන්නේ, නංගිව නම් පන්නලා දැම්මා..අපේ තාත්තයි, අම්මයි සංවේදි වැඩිද, නැත්නම් මෝඩද කියන්න මම දන්නේ නෑ. තාමත් මම එයාලගේ පොඩි පුතා.

මට හෙන වදියිද මගේ රත්තරං අයියේ..



මෙය හුදෙක් කථාවක් පමණක් බවත් මෙහිදී  නලීන් දිල්රුක්ෂ නම් සහෝදර බ්ලොග්කරුවාට පෞද්ගලික විරෝධතාවක් නොදක්වන බවත් මතක් කර සිටිමි. එසේම මෙහිදී ඇනෝ දැමීම සම්බන්ධව විරෝධතාවක් නොමැති මුත් සිදු වන පෞද්ගලික මඩ ප්‍රහාර මා හට ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් දන්වා සිටිමි.

Thursday, January 10, 2013

සැබෑ අවශ්‍යතාවන් සදහාවන අරගල පරදින්නේ මන්ද? (නීති විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රශ්ණයේ යතාර්ථය)





 රගල  - අපේ රටේ පමණක් නොව ලොව පුරා මේ දිනවල කථා වන මාතෘකාවකි. ලෝක දේශපාලනය මෙන්ම අර්ථ ක්‍රමය තුළද සිදුවන බොහෝ සාධාරණ අරගල සාධණීය අවසානයකට ලගා විය. එසේම රටේ සමස්ථ සමාජයට බොහෝ වෙනස්කම් සිදු කරවීය.

පුදුමයකට මෙන් ශ්‍රී ලංකාව තුළ සිදුවන බොහෝ අරගල, සාධාරණ හෝ අසාධාරණ කුමක් වුවත් අවසන් වන්නේ අරගලයට හේතු වූ ප්‍රස්තුථය තිබුනාටත් වඩා පහළ අඩියකට ඇද දමමින්ය.

මෙය අදෘශ්‍යමාන බලවේගයක් නිසා සිදු වන්නක්ද? රට රකින සිව් වරම් දේව බලය නිසා ඇති වූවක්ද? එසේත් නැතිනම් නාථ දේව බල මහිමය නිස සිදුවන්නක්ද? මහරජගේ මහ බල පරාක්‍රමය නිසා හෝ රාජකීය වාසනා මහිමය නිසා සිදුවන්නක්ද?

තවත් පැතිකඩකින් විදෙස් කුමන්ත්‍රණ හෝ දෙමළ ඩයස්පෝරාවේ බලපෑම මත සිදුවන අරගල බැවින් සියළු අරගල වෙත පොදු මහජනයා වෛර කරන නිසා සිදුවන්නක්ද?

මෙම සිතුවිල්ල කරා යොමු වීමට ආසන්නතම හේතුව වූයේ 2012 ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිදු වූවායැයි සැක කරන (මමද තදින්ම සැක කරමි) වංචාව අරඹයා සිදුවන සිදුවීම් මාලාවයි.

මෙහිදී මතක් කළ යුතුම කාරණය නම්, දෙමළ මාධ්‍යය සමත් ප්‍රතිශතය අසාමාන්‍යය ලෙස 2011 සහ 2012 වසර වල වැඩිවීම සාධාරණ සැකයකට බදුන් වීමයි. මේ වනවිට වැල්ලවත්ත, දෙමළ මාධ්‍යයෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සදහා ඉගැන්වූ උපකාරක පන්තියක සිසුන් හට ප්‍රශ්ණ පත්‍රය කලින් ලැබුණු බව සමහර මාධ්‍යයවල පළවී ඇත. එහි ඇත්ත නැත්ත නොදනිමි. කෙසේ වුවත් මෙතෙක් කල් ප්‍රථිපල ලේඛණයේ සදහන්ව තිබූ 'නම, විභාගයට පෙනී සිටි මාධ්‍යය සහ ලකුණු' වෙනුවට මෙවර 'නම, ස්ත්‍රි/පුරුෂ භාවය සහ ලකුණු' දක්වා තිබීමට සමගාමීවම දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි ඉතා ඉහළ ප්‍රතිශතයක් සමත් වී තිබීම අතිශය සැක උපදවන තත්වයක් නිර්මාණයකර තිබේ. (ප්‍රථිපල ලේඛණය මෙතනින් බාගත කළ හැක)



මේ තත්වය මාධ්‍යවල පළවීමත් සමග මෙයට එරෙහිවන පිරිසට 'ජාතිවාදී' සහ 'අන්තවාදී' ලේබලය ඇලවීමට තවත් පිරිසක් නින්දිත උත්සහයක් ගත් අතර, ඊටම සරිලන ලෙස මෙම සත්‍යය වංචනික ක්‍රියාව තම පැවැත්ම තහවුරු කිරීමේ උපකාරකයක් ලෙස භාවිතා කිරීමට තවත් පිරිසක් මෙයට 'ජාතිවාදී' සහ 'අන්තවාදී' මුහුණුවරක් දෙන්නට ඉදිරිපත් විය.

ගැටළුව ආරම්භ වන්නේ මෙතැනදීය. මෙය සත්‍යය වශයෙන්ම අරගලයක් කොට හෝ පාලකයන්ගේ අවධානය දිනා ගත් යුතු අවස්ථාවකි. මේ අසාධාරණයට ලක් වූවෝ හුදු සිංහලයින් පමණක් නොව, සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් විභාගයට පෙනී සිටි මුස්ලිම් මෙන්ම දමිළ සිසුන් රාශියක්ද මෙහිදී අසාධාරණයට ලක් විය. හොදම උදාහරණය නම් අසාධාරණයට ලක් වූ සිසුන් එක් වී පිහිටුවා ගත් 'නීති ප්‍රවේශ ශිෂ්‍යය එකමුතුව ' නම් සංවිධානයේ සභාපති වරයාද මුස්ලිම් ජාතික 'රම්සි බාවා' නමැති අයෙකු වීමයි.

නමුත් වැරැද්ද සිදුවන්නේ මේ පණිවිඩය වෙනුවට මෙය බෞද්ධ අන්තවාදී ගැටුමක් යන මතයක් මාධ්‍යයතුළින් මෙන්ම විශේෂයෙන් අතිශය මානුෂවාදී යයි කියාගත් පිරිසක් බුකියතුළින්ද ප්‍රචාරය කිරීම තුළින්, බහුතර මහජනයා මෙන්ම පාලකයන්ද තුළද මේ සටන තුට්ටු දෙකේ අන්තවාදී ගැටුමක් යන ප්‍රතිරූපය ඇති වීමයි.

මෙම අතිශය සාධාරණ අරගලයේ අවසානය අන් සියළු අරගල වල අවසානය මෙන්ම පරාජිත අරගලයක් වීමේ ප්‍රධානතම ලක්ෂණය නම් එයට අන්තවාදී මුහුණුවර ලැබී, මහජන පිළිකුලට භාජනය වීමයි. මෙයට මෙහි සංවිධායකයන් මෙන්ම ඕනෑ දේ දහසකුත් පැත්තක තිබියදී අනවශ්‍යය දේට අත පොවන 'බොදු බල සේනා' සංවිධානයද වගකිව යුතුය. මම පෞද්ගලිකව බොදු බල සේනා තම දායකත්වය සැපයූ සමහර අවස්ථා අනුමත කරමි. (උදා. වදුරඹ සිරිවර්ධන පැන්නිම, රුවන්වැල්ලේ සෝභිත පැන්නීම, ශ්‍රමණවේශදාරී හොරු ඇල්ලීම, බෞද්ධ පුරා විද්‍යාස්ථාන රැක ගැනීමට කටයුතු කිරීම) නමුත් මෙය නම් 'අනවශ්‍යම අවස්ථාවකි'. 

මෙම අනවශ්‍ය අත පෙවීමේ උච්චතම අවස්ථාව උදාවූයේ පසුගියදා නීති විද්‍යාලයේදී ඇති වූ ගැටුමත් සමගයි. අතපය පමණක් නොව කුඩ, කඩු ලෙස හසුරවමින් භික්ෂූන් වහන්සේලා (ශ්‍රමණ ප්‍රතිරූපකයන් යන්න වඩාත් ගැලපේ යැයි සිතන්නේ මම දන්නා බුදු දහම, අවිහිංසාවාදයේ උත්තරීතර සංඛේතයක් නිසාය) ක්‍රියා කිරීම පිළිකුල් සහගත් ක්‍රියාවකි. එයින් නොනැවතී මෑතකදී නීති අධ්‍යාපනය නිම කළ නීතිවේදියෙක් හා ඇති වූ ගැටුම සාධාරණීකරනය කිරීමටද, 'මුස්ලිම් නීතිවේදියා භික්ෂූන්වහන්සේට පහරදෙයි' යන සිරස්තල යටතේ 'බොදු බල සේනා' හි නිල ෆේස්බුක් අඩවිය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන්, එයටද ආගම්වාදී ස්වරූපයක් එක් කිරීමට තැත් කිරීම ව්‍යර්ත වූයේ එම නීතිවේදියා, මුස්ලිම් ජාතිකයකු නොව, පිරිසිදු සිංහල බෞද්ධයකු (අමිල ඉන්දික නම් ඔහුගේ ෆේස්බුක් ගිණුම මෙතනින් බලන්න) බවට ඔප්පු වීමෙනි.


නමුත් මෙයට වත්මන් අධිකරණ ඇමති 'රාවුෆ් හකීම්' ගේ නම සම්බන්ධ වීම වලක්වා ගත් නොහැක්කේ ඔහුගේ අතීත ක්‍රියා කලාපය හොද නැති වීම නිසාය. මොහුගේ ක්‍රියා කලාපය ගැන දන්නා කවරෙකුට වුවද මෙවැනි සැකයක් පහළ වීම අතිශයින් සාධාරණය. එහෙත් එය හුදෙක් 'රාවුෆ් හකීම්' නැමති දේශපාලකයා සැක කිරීමකට පමණක් ලඝු විය යුතු සහ ඔහු මෙයට අත පෙවීමක් සිදුකර ඇත්නම්, එම නින්දිත ක්‍රියාකලාපයට එරෙහිව අතවශ්‍යයෙන් සටන් වැදිය යුතුය. නමුත් මෙය ඔහුට එරෙහිව සටනක් මිස කිසියම් ජාතිවාදී/ආගම්වාදී ගැටුමක් ලෙස නොගත යුතුය. මෙය කොහෙත්ම ආගම්වාදී ගැටළුවක් බවට පත් කර අන් සියළු අරගල වලට අත් වූ ඉරණම මේ අරගලයට අත් වීමට ඉඩ නොදිය යුතුය.



මෙයට සර්වසමාන නොවූවද විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් සැබැ අවශ්‍යතාවයක් වන 'අධ්‍යාපනය වෙනුවෙන්  6%'  වෙනුවෙන් ගෙනගිය අරගලයද අනවශ්‍යය පුද්ගලයන්ගේ, එනම් මේ අරගලය මුවාවෙන් තම බඩ වඩා ගැනීමේ, පටු දේශපාලන අරමුණු මුදුන් පමුණවා ගැනීමේ මෙන්ම පෞද්ගලික තරහ මරහ පිරිමසා ගැනීමේ පරමාර්ථයෙන් සහය දැක්වීමට ඉදිරිපත් වූවන්ගේ 'අනවශ්‍යය' අතපෙවීම මධ්‍යයේ සිදු වූයේ මෙවර අධ්‍යාපනය වෙනුවෙන් රජය වෙන්කළ ප්‍රතිශතය ගිය වසරටත් වඩා අඩු වීමයි.

එසේ හෙයින් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගැටළුව වැනි සැබෑ අවශ්‍යතා සදහාවන අරගල පරාජය වීම රට රකින දේව බලයක් නිසා සිදු වන්නක්, රාජකීය වාසනාව නිසා සිදුවන්නක් හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසා සිදුවන්නක් බවට අප වරදවා වටහා ගතයුතු නොවේ. ඒවා පරාජය වීමේ වගකීම එම අරගලවල ස්වරූපය, අරමුණු, ආමන්ත්‍රණය මෙන්ම සහභාගීත්වය තීරණය කරන සංවිධායකයන් දැරිය යුතුය.